මහාචාර්ය පූජ්‍ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

ශ‍්‍රී ලාංකේය ඉතිහාසය හා ඉතිහාස සම්ප‍්‍රදාය පමණක් නොව අනන්‍යතාව නීර්ණය කිරීමෙහිලා තීරණාත්මක ජවයක් සැපයූ යම්දෙයක් වේ නම් ඒ බෞද්ධ චීවරයයි. අතීතයේ මෙන්ම වර්තමානයේ ද ලාංකේයත්වයේ ප‍්‍රගතිගාමී අනාගතය උදෙසා බෞද්ධ භික්‍ෂුවගෙන් ලැබෙනුයේ උත්කෘෂ්ට මෙහෙයකි. මෙම සම්ප‍්‍රදාය මැනවින් වටහාගෙන ලාංකේය මානවයාගේ හෙට දවසේ යහපත උදෙසා තමාගේ කාලය හා ශ‍්‍රමය කැපකරන යතිවරයාණන් වහන්සේ නමකි, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන් වහන්සේ. පංති සාමාර්ථයක් සහිතව පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් ඉතිහාස විශේෂවේදී උපාධිය ලබාගත් උන්වහන්සේ ඒම විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධිය ලබාගත්තේ රාජත්වය, රාජ්‍යය සහ ආගම යන ප‍්‍රශස්ත නිබන්ධනය ඉදිරිපත් කරමිනි. පොදුරාජ්‍යය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්විවිද්‍යාලයෙන් දර්ශනශූරි උපාධිය ලබාගත් උන්වහන්සේ දැනට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය තනතුර හොඹවමින් සිටී. ශ‍්‍රී ලාංකේය සමාජ-දේශපාලන සන්දර්භය තුළ භික්‍ෂුවගේ කාර්ය මනාව තේරුම්ගෙන ලාංකේය සමාජයේ පරමාදර්ශි භික්‍ෂු භූමිකාවක නිරත වී සිටින උන්වහන්සේ සමඟ ඉතිහාසය, ඉතිහාස සම්ප‍්‍රදාය, පුරාවිද්‍යාව මෙන්ම යටගියාව අධ්‍යයනය කිරීම සම්බන්ධව පැවැත් වූ සංවාදය මෙහි පළ වෙයි. අනාගත ලාංකේය පුනරුත්තාපනය වෙනුවෙන් යටගියාවේ ඇති වැදගත්කම මෙම සංවාදය ඔස්සේ මැනවින් පැහැදිළි වෙයි.

prof-ven-haguranketha-dheerananda

ප‍්‍රශ්නය : ඔබවහන්සේ මහචාර්යවරයෙක් දක්වා පැමිණි ගමන ගැන විස්තරයක් කළොත්

පිළිතුර : මගේ ජීවිතයේ කඩයිම් ගණනාවක් තියෙනවා. එම කඩයිම් හා මම මුහුණ දුන් අභියෝග ඔස්සේ ජීවිතය හැඩගසා ගෙන තමයි මම මේ තත්ත්වයට ආවේ. පළමු අභියෝගය බොහෝ දෙනාගේ විරෝධතාව මත පැවිදි බිමට පත්වීම. අපේ අම්මා තාත්තා පවා විරුද්ධ වන වේලාවක, මහණකමට, එහෙම නැත්නම් ශාසනය කෙරෙහි ඇතිකරගන්නා හැඟීම මත මම ප‍්‍රවෘජිතභාවයට පත්වෙනවා. ඒ සමඟ මම ගිහිගෙයින් වෙන්වෙලා පිරිවෙන් අධ්‍යාපනය සමඟ බද්ධවෙනවා. පාලි, සංස්කෘත, ප‍්‍රාකෘත වගේම ඉංග‍්‍රීසි වැනි අනෙකුත් භාෂා සමඟ පිරිවෙන් අධ්‍යාපනය ලබනවා. කුඩා අවධියේ සිටම මා තුළ ඉතිහාස විෂය පිළිබ විශාල කැමැත්තක් ඇතිවෙනවා. එබැවින් මං ප‍්‍රාචීන, සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාගවලදී ඉතිහාසය කෙරෙහි වි‍ශේ අවධානයක් යොමු කරනවා. එයිනුත් ලංකා ඉතිහාසය කෙරෙහි පුදුම බැදීමක් තිබුණා. පිරිවෙන් ශික්ෂණය හා මට ඇසුරු කිරීමට ලැබුණු වියත් භික්ෂූන් වහන්සේලාගේ ඇසුරින් ලත් දේශීය චින්තනයත් සමඟ මගේ ඉතිහාස විෂය කෙරෙහි තිබුණු කැමැත්ත මුහුවෙනවා. ඒ ගමන්මඟ විශාල ශක්තියක් වුණා විශ්වවිද්‍යාලය දක්වාම මට ගමන් කරන්නට,

1982 සැප්තැම්බර් මාසයේ 13 වෙනි දා මම විශ්වවිද්‍යාලය ඇතුළු වෙනවා. ඉතිහාසය. භූගෝලය හා බෞද්ධ දර්ශනය යන විෂයන් 3ක් තෝරාගන්නවා. එයිනුත් ඉතිහාස විෂය කෙරේ මගේ පුදුම කැමැත්තක් තිබුණේ. නමුත් 1980 දශකය වන විට ඉතිහාස විෂයට ලංකා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ලැබිලා තිබුණේ ඉතාම අඩු සැලකිල්ලක්. අපේ පළමු වසර ඉතිහාසයට හිටියේ සිසුන් 12 දෙනෙක් විතරයි. බොහෝ දෙනෙක් අපට හාස්‍යජනක ආකාරයට කථාකළා, ඉතිහාසය විෂය වැඩක් ඇති විෂයක් නොවෙයි කියලා. දුම්බර මණ්ඩපයටයි අපි එන්නේ, පහසුකම් අඩුයි. නමුත් පේරාදෙණියෙන් මහාචාර්යවරු ගිහින් අපට දේශන කළා. මහාචාර්ය බන්දුල කරුණාතිලක, මහාචාර්ය තිලකා මෙත්තානන්ද, මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර වැනි මහාචාර්යවරු ඇසුරුකිරීමට හා ඔවුනගේ දේශන ඇසිමට ලැබුණා. එතුමන්ලාගේ උපදේශකත්වය නිසා ඉතිහාස විෂයට මගේ තිබුණු දැනුම හා කැමැත්ත වැඩිවීමට පටන්ගත්තා. පළමු වසරේ දී හොදින් සමත් වූ මම 1983 දී පේරාදෙණිය සරසවියට ඇතුළුවෙලා ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිය කිරීම ආරම්භ කරනවා. අපි හතරදෙනයි ඉතිහාසයට එන්නේ. දෙන්නෙක් නූතන ඉතිහාසයට හා අනෙක් දෙදෙනා පුරාතන ඉතිහාසයට වශයෙන්.

දෙවන වසරේ දී මම එක විෂයක් ලෙස පුරාවිද්‍යාව තෝරාගන්නවා. පුරාවිද්‍යාව පිළිබඳ පළමු අවධානය 1983 දී මම යොමුකරනවා. ඒ කාලයේ අධ්‍යාපනය වැඩියෙන්ම යොමුවෙලා තිබුණේ කියවීමට. හැම විෂයකටම විශාල ප‍්‍රමාණයක් කියවන්න  ඕනේ. එමෙන්ම නිබන්ධන 10ක් විතර අපි ලියන්න  ඕනේ. ඒ නිසා අපේ දැනුම පුළුල් වුණා. මෙම කියවීම නිසා දේශන සැහැල්ලූවෙන් ග‍්‍රහණය කර ගැනීමට හැකිවුණා. දෙවනුව දේශකයන් සමඟ විවෘතව සාකච්ඡුා කිරීමට ලැබුණා, නිබන්ධන පන්තිවලදී. එබැවින් විෂය පිළිබඳ බැලිය යුතු අකාරය, විෂය දැනුම වර්ධනය වුණා. මුලාශ‍්‍ර පිළිබඳ අධ්‍යයනය අපේ දෙවන වසර ආරම්භ වුණා. පාලි, සංස්කෘත, සෙල්ලිපි ආදිය ඉගෙනගැනීමට ලැබුණා. සිංහල අංශයේ මහාචාර්ය පී.ඊ.ඊ ප‍්‍රනාන්දුගෙන් තමයි අපි සෙල්ලිපි ඉගෙන ගත්තේ. එතුමා ප‍්‍රාචීන භාෂා පිළිබඳ ගැඹුරක් තිබුණ කෙනෙක්. තෙවැනි වසරේ දී සිරිමා කිරිබමුණේ මැතිණිය හමුවෙනවා. ඒ වගේම පී. වී. ජයසේකර වැනි අයත් හමුවෙනවා.

මගේ ජීවිතයේ ශීඝ‍්‍ර වෙනසකට පත්වෙන්නේ සිව්වෙනි වසරේදී. ඒකට හේතු 2ක් තියෙනවා. පළමු එක මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන හමුවීම. දෙවනුව මං පර්යේෂණ නිබන්ධනය සඳහා හඟුරන්කෙත වැනි ප‍්‍රදේශයක් තෝරාගැනීම.

ලෙස්ලි ගුණවර්ධන මහතාගේ විශේෂ ලක්ෂණ කිහිපයක් මම දුටුවා. එකක් කැපවීම, එතුමා පළමුවෙන්ම අපට ඉගැන්වුයේ විෂයක් කරනවා නම් විශාල කැපවීමක් කළයුතු බව. එතුමා කැපවීම, පර්යේෂණශීලිත්වය, අධිෂ්ඨානය මේ සියල්ලය අපට දුන්නා. කාලයට දැනුම සීමා නොකළ හැකි බව අපට කියලා දුන්නා. එබැවින් හැම වේලාවකම දැනුම පුළුල් කිරීමේ ව්‍යාපෘතියක අප නිරතවන්න  ඕනේ. එතුමන් දේශන ආරම්භකිරීමේ හෝ අවසන් කිරීමේ වේලාවක් තිබුනේ නැහැ. ඒවායේ  සටහන් තිබුනේ නැහැ. අපේ මනසට මෙම දේශන දැඩිලෙස දැනෙන්නට පටන්ගත්තා. විවෘතව විෂය කරුණු සාකච්ඡා කළා. අපේ හතරවන වසර විෂය 4න් 3ක්ම කළේ එතුමා. එම නිසා සතියම එතුමා සමඟ ගතකිරීමට සිදුවුණා. මෙතුමගෙන් ඇතිකරගත් චින්තනය මගේ ජීවිතය වෙනස්කිරීමකට ලක්කළා.

දෙවනුව මාගේ නිබන්ධනයට තෝරාගත්තේ හඟුරන්කෙත පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් යන්න. පළමු වතාවටම මම ඒ ඒ ස්ථානවලට ගිහින් අධ්‍යයනය කිරීමට පටන් ගන්නවා. තොරතුරු එක්කරගැනීමේ ක‍්‍රමවේදය එතුමා මට කියලා දුන්නා. එම නිසා මට විශාල දැනුමක් ලැබුණා.

අනික පොළොන්නරුව, අනුරාධපුරය, සීගිරිය වැනි පුරාවිද්‍යා ස්ථානවලට අපව රැගෙන ගියා. ඒ වන විට සංස්කෘතික ත‍්‍රිකෝණය යටතේ කැනීම් ආරම්භ වෙලා. පොලොන්නරුවේ හිටිය මහාචාර්ය පී. එල්. පේ‍්‍රමතිලක මහතා.

 

polonnaruwa-watadageya

පොළොන්නරුව වටදාගේ

 

අවසානයේ මට දෙවන පෙළ ඉහළ සාමර්ථයක් ලැබුණා. ඒක මට ඉතා සතුටුවීමට කාරණයක්. මොකද මේ කාලේ මේක දුර්ලභ කරුණක්.

අනතුරුව මම ගල්ගමුව ආශ‍්‍රිතව පර්යේෂණ ගණනාවක් කළා, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන සමඟ. එයත් මගේ ජීවිතය පැතිකඩක් විවර වීමට වගේම මෙම කෂේත‍්‍රයේ පවත්නා දුෂ්කරතා හඳුනාගැනීමටත් ඉවහල් වුණා. පසුව සමනළ වැව ව්‍යාපෘතියට සම්බන්ධවීමට හැකිවුණා.

මම 1988 දී විදුහල්පතිවරයෙකු වශයෙන් යනවා නොච්චියාගමට. එය දුෂ්කර ප‍්‍රදේශයක්. මෙහිදී මිනිසුන්, බස හැසිරීම ආදිය මෙන්ම, වැව ආශ‍්‍රිත කරගත් ගමක ජීවත්වීමට හැකිවුණා. අඔගහවැව කියන නොච්චියාගම ඉදලා කිලෝමීටර 15ක් විතර ඈත විල්පත්තුවට ආසන්න ගමක තමයි මම හිටියේ. මෙම ගම ගම්විදානේ, වෙල් විදානේ ආදීන්ගේ අධිකාරික්වය තිබුණු ගමක්.

1990 දී මම නැවැත විශ්වවිද්‍යාලයට එනවා. අනතුරුව මගේ  අධ්‍යයන ක්ෂේත‍්‍රය වෙනත් මඟකට යොමුවෙනවා. හේතුව ගුරුවරයෙකු වශයෙන් ඉතිහාස අධ්‍යයන අංශයට එකතුවීම. ශිෂ්‍ය ජීවිතයට වඩා වගකීම් වැඩියි. එබැවින් කියවීම හා පර්යේෂණය දියුණුකරගත යුතු වෙනවා. ඒ වෙලාවේ මම පශ්චාත් උපාධියට පෙනී සිටීමට උනන්දුවෙනවා. මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන මහතා මා දේශපාලන ඉතිහාසය දෙසට යොමුකරනවා. මම මුලදීම භික්ෂූත්වයේ භූමිකාව පිළිබඳව අධ්‍යයනය කළොත් හොදයි යන්න ඉදිරිපත් කළා. නමුත් මහාචාර්යතුමා වෙනත් පැතිකඩකට මාව යොමුකරනවා. දේශපාලන ඉතිහාසය දෙසට. ඒ කියන්නේ දේශපාලන ඉතිහාසයට කෙරේ බල පෑ  බෞද්ධ පදනම කුමක් ද කියා විමසිමට.

මම ශිෂ්‍යත්වයක් ලැබිලා ප‍්‍රංශයට යනවා 1993 දී. එහි දී දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ ඉගෙන ගැනීමට ලැබෙනවා, මේයර් නමැති මහාචාර්යවරයා යටතේ. එතමා ලංකාවේ පාලි, සංස්කෘත හා මුලාශ‍්‍ර පිළිබඳව යම් දැනුමක් තිබුණු කෙනෙක්. ඔහු මා ලිවීමට හා ප‍්‍රංශ බස හැදෑරීමට උනන්දුකරනවා. එතුමා මාව සෝබෝන් සරසවියේ දේශන වලට රැගෙන යනවා. එතුමා ඉදිරිපත්කරණ කරුණුවල විචාරශීලිබව මට බොහෝ උපකාරි වුණා, ඉතිහාස විෂය බැලියයුතු කෝණය ගැන දැනුමක් ලැබීමට. බොහෝ මූලාශ‍්‍ර සංසන්දනාත්මක විනිශ්චයක් වෙත බඳුන්කරනවා. ඇතැම්විට එක කාරණයක් පදනම් ගණනාවක් ඔස්සේ බැලීමට එතුමා උත්සාහ කළා. මාස හතඅටක් එතුමා සමඟ කළ අධ්‍යයනය මට වඩාත්ම ඵලදායිවුණා. පසුව මම ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගියා 1994 දී. ඒ කාලයත් එහිදී හමු වූ මහාචාර්යවරු හා දේශන පතපොත පරිශීලනයෙන් ලත් දැනුම, කෞතුකාගාර නැරඹීමෙන් ලත් දැනුම තවත් පැත්තකින් මෙම ක්ෂේත‍්‍රය කෙරෙහි තවත් සමීපවීමට ඉවහල්වෙනවා. අනෙක ජාත්‍යන්තර තලය තුළ තිබෙන කථිකාව කුමක්ද යන්න අවබෝධ කැරගැනීමට හැකි වුණා. මගේ පර්යේෂණ ලංකාව තුළ ගොඩනැගී තියෙන රාමුවෙන් ඔබ්බට රැුගෙන යායුතු බව මේ අවස්ථාවේ මට හැගීයනවා. අපට න්‍යායාත්මක රාමුවක් අවශ්‍යයයි. ඒ ඔස්සේ ලංකා ඉතිහාසය දෙස අපට බලන්න බැරිද යන්න මගේ ඔළුවේ වැඩකළා.

 

sigiriaya-frescoes

සිගිරිය බිතුසිතුවම්

 

1994 දීම ලංකාවට ඇවිත් මගේ පර්යේෂණ නැවත ආරම්භ කළා. ලංකාවේ රාජ්‍යත්වයේ ආරම්භය පිළිබඳ අධ්‍යයනය කිරීම හා නව න්‍යායාත්මක රාමුවකින් බැලීම මගේ අරමුණ වුණා. මාස දෙකක් පමණ හිතලා මම සැලසුමක් හැදුවා. ඒ වන විට ඇන්තෝනියෝ ග‍්‍රැම්ස්කි කියන චරිතය මට බලපාන්නට වුණා. ඔහු පශ්චාත් මාක්ස්වාදියෙක්. මහාචාර්ය මේයර්ටත් ඉතා ප‍්‍රිය වූ චරිතයක් ඔහු. මොහුගේ අදහස් තම දේශනවලදී ඉදිරිපත් කළා. මට එබැවින් ඔහු පිළිබඳ හැදෑරීමට අවශ්‍ය වුණා. ප‍්‍රංශයේ බිබිලියෝටික් නැෂනල් කියන පුස්තකාලයේ ඒ පිළිබඳ පොතපත තිබුණා. එහි සෑම දවසකම පාහේ මාක්ස්වාදය හා තවත් මාතෘකා පිළිබඳව සාකච්ඡුාවක් පවතිනවා. කියවන කෙනෙකුට පුළුවන් දිනයක් වෙන්කරගෙන දේශනයක් පවත්වන්න. ඉතිං හැමදාම දේශන තිබුණා. ඒ වනවිට මාක්ස්වාදය ගැන මටත් එතරම්ම දැනුමක් නොතිබුණු නිසා මම මේ සංවාද වලට සම්බන්ධ උණා. මෙම සංවාද හරහාත් ග‍්‍රැම්ස්කි හා ඔහුගේ Social Block (සමාජ කණ්ඩායම් කියන න්‍යාය පිළිබඳව අත්දැකීමක් ගත්තා. පසුව මම මේ න්‍යාය ඔස්සේ ලංකාවේ අභිලේඛන වලින් හෙලිවන සමාජ කණ්ඩායම් ඇතුළුකරලා රාජ්‍යය කියන්නේ සමාජ කණ්ඩායම් අතර ඇතිවන අන්‍යෝන්‍ය සම්බන්ධතාව, ගැටීම, අභිලාෂයන්ගේ ඵලයක්ද? යන්න මගේ හිතට හැඟුණා. මෙය හිතේ තියාගෙන මම ලංකාවට ආවා.  මම ඒක ඇවිත් මහාචාර්යතුමාට ඉදිරිපත්කළා. එතුමා එවිට මේක ඉතාම ගැඹුරුයි, ඔබට පුළුවන්ද ඒ ඔස්සේ අධ්‍යයනය කරන්න යනුවෙන් ප‍්‍රකාශ කළා.

ග‍්‍රැම්ස්කිගේ පොතක කොටසක් තියෙනවා Modern Prince කියලා. මේවා පිළිබඳ මම කියවලා අවබෝධ කරගත්තා. මගේ රාජ්‍යත්වය, රාජ්‍ය හා ආගම කියලා පසුකාලයේ නිකුත් වුණු ග‍්‍රන්ථයේ අංගයක් විදිහට මම ලංකාවේ රජ්‍යත්වය ප‍්‍රභවය හා ඒ කෙරෙහි බලපාන ලද බෞද්ධ ආගමේ පසුබිම යන මැයෙන් පශ්චාත් උපාධි නිබන්ධය (Ma) සම්පූර්ණ කළා.

1992 සිට 1997 දක්වා මම මේ පර්යේෂණය කළා. විජය කියන සංකල්පයෙන් ඔබ්බට යාමට උත්සාහ කළා. මෙතනදී මට පුරාවිද්‍යාව සමඟ ගනුදෙනු කිරීමට සිදුවුණා. සාහිත්‍ය මුලාශ‍්‍ර යලින් ඔබ්බට ගොස් එවකට කරතිබූ පුරාවිද්‍යා කැනීම් ඔස්සේ නැතහොත් සාහිත්‍ය මුලාශ‍්‍රවලින් කතාකරන ක‍්‍රිස්තුපූර්ව 3වන සියවසෙන් එහා ලෝකයේ අපි දකින දේවල් ගැන. 1990 දශකය වනවිට පුරාවිද්‍යාව යටතේ සෑහෙන අධ්‍යයන ප‍්‍රමාණයක් කරලා තිබුණා. ප‍්‍රාග්ඓතිහාසික යුගයන් පිළිබඳව දැරණියගල විද්වතාගේ අදහස් ඇවිත් තිබුණා.

මම පසුව ශිලාලිපි පිළිබඳ වැඩි අවධානයක් යොමුකළා. මේ වනවිට ප‍්‍රකාශයට පත් වී තිබුණු මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනගේ (1981) Prelude the state ලිපිය හා මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ  පරුමකවරු පිළිබඳ ලියවුණු ලිපිය (1989) මට ඒ සඳහා අවශ්‍ය කේන්ද්‍රීය දැනුම ලබල දුන්නා. මෙරට දේශපාලන නායකත්වය, රාජ්‍යත්වය ආදිය ‘ඉන්දියානු මූලයක් නොව ශ‍්‍රී ලාංකේය මූලයක්ය’ යන තැනට ගෙන ඒමට මට අවශ්‍ය වෙලා තිබුණා. අපට සාහිත්‍ය මුලාශ‍්‍රවලින් මේ වනවිට උගන්වලා තිබුණේ විජය කියන සංකල්පය. මගේ තර්කය වුනේ ඊට එහාට ගිහින්, මේක අපේ රටේ ජන කණ්ඩායම්වල පෙළගැස්යේ ප‍්‍රතිඵලයක් ලෙස දකින්න පුළුවන්ය කියන එක. ක‍්‍රිස්තු පූර්ව 10වන සියවසේ පමණ ප්‍රොටෝ ඓතිහාසික යුගයේ ඇතිවන සමාජ-ආර්ථික වර්ධනය ඔස්සේ සිදුවන්නක්ය යන්න. ඒ අනුසාරයෙන් මාගේ පර්යේෂණය එලිදකිනවා.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ මට 1998 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් හමුවෙනවා. ඒ අනුව මම ඉන්දියාව තෝරාගත්තා. පෙරදිග ඉතිහාසය ගොඩනැගීමට පාදක වූ රටක් ලෙසයි මම මුල්කාලයේ සිටම ඉන්දියාව හඳුනා ගත්තේ. ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පළමු භික්ෂුව ලෙස මං එම විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. එහිදී මම මහාචාර්යවරියක් යටතේ අධ්‍යයනය කරනවා. මහාචාර්ය රායි නම් ඇය දක්ෂ ඉන්දීය ඉතිහාසඥවරියක්. ඇය රොමිලා තාපර්ගේ ශිෂ්‍යාවක්. මෙම H.P. Ray මහාචාර්යවරියට පුළුල් දැනුමක් තිබුණා. ඇය හමුවීම තවත් පැතිකඩක් මගේ ජීවිතය වෙනස් කළා. ලංකාවේ මෙන්ම යුරෝපීය දෘෂ්ටිය පිළිබඳ අවබෝධයක් තිබුණු මට ඉන්දීය විද්වතුන් ඉතිහාස හා පුරාවිද්‍යාව දෙස බලන්නේ කොහොමද යන්න අවබෝධ  කරගැනීමට හැකිවුණා.

 

prof-h-p-ray

මහාචාර්ය එච්.පි. රේ

 

ඇය සමඟ මම කළ සාකච්ඡා බොහොම හරවත් වුණා. ඇයගේ ප‍්‍රධාන කරුණු කීපයක් තිබුණා. එකක් තමයි කියවීමෙන් අපි දැනුම දියුණු කරගත යුතුයි. අනෙක පර්යේෂණ සඳහා ක්ෂේත‍්‍ර අධ්‍යයනය අනිවාර්යයෙන් කළයුතුයි කියන කරුණ. කියවන හෑම පොතකටම විචාරයක් ලියලා මම ඇයට දෙන්න  ඕන. මේක තමයි මගේ අධ්‍යයනය පළමු පියවර. අනතුරුව ශ‍්‍රාවස්තියේ කැනීම් කළ ජපන් ජාතික අකිනෝරා උසුචි නම් පුරාවිද්‍යාඥයා ළඟට මාව යැවුවා.  ඉතිං මම ඉතා දුෂ්කර උත්තර ප‍්‍රදේශවලට ගියා. එතැන මම මාසයකට වඩා වැඩිකාලයක් ගතකළා. පසුව මම දිල්ලිවලට ඇවිත් 1998 සිට 2000 ඔක්තෝම්බර් වෙද්දි මගේ ආචාර්ය උපාධි (PhD) නිබන්ධනය සම්පූර්ණ කිරීමට මට හැකිවුණා.

2000 මම ලංකාවට එනවා. එතකොට මට ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය දෙවන ශ්‍රේණිය හමුවෙනවා. 2003 දී පළමු ශ්‍රේණිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුර මට හමු වෙනවා. 2005 ජනවාරි 18 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි මහාචාර්ය තනතුර හමුවෙනවා. මේ වන විට පරීක්ෂණ මණ්ඩලය ඉල්ලූවට වඩා මට ලකුණු ගොඩාක් තිබුණා. මහාචාර්ය තනතුර ලැබීමට සාමාන්‍යයෙන් ලකුණු 90ක් පමණ අවශ්‍ය උනත් මට ලකුණු 200කට ආසන්න ප‍්‍රමාණයක් තිබුණා. මම මේක දකින්නේ මගේ අධ්‍ය්‍යන ක්ෂේත‍්‍රයට කළ කැපකිරීමෙන් ලබාගත් දෙයක් හැටියටයි.

ප‍්‍රශ්නය : මීලඟට ඔබවහන්සේගේ පර්යේෂණ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. ආරම්භයේ සිට මේ දක්වා ඔබවහන්සේ විසින් සිදුකළ පර්යේෂණ පෙළගැස්වීමක් සිදුකළහොත්.

 

පිළිතුර : මම භික්ෂුව පිළිබඳව ලියූ ග‍්‍රන්ථ දෙකක් ඉතාම වැදගත් වුණා. සංඝ සංවිධානය හා එහි ව්‍යුහාත්මක පදනම කියන එක. මම හිතන විදිහට විවිධ විෂය යටතේ ලිපි 100කට එහා ප‍්‍රමාණයක් මම ලියලා තියෙනවා. ඉංග‍්‍රීසි හා සිංහල යන භාෂා දෙකෙන්ම. මගේ අවධානය වැඩිපුරම යොමුවෙලා තියෙන්නේ රාජ්‍ය, රාජ්‍යයත්වය, ආගම, භික්ෂූව සංස්කෘතිය හා අභිලේඛන කියන විෂයපථ ඔස්සේ.

මම තවත් පැත්තකින් හිතල බෞද්ධ චින්තාව හා චරණය කියලා පොතක් ලිවුවා. ඒතක් විශාල ආන්දෝලනයකට ලක්වුණා. මට අවශ්‍ය වුණා මනුෂ්‍යයින්ගේ කටයුතු සකස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අවධානය යොමුකිරීමට.

මීට අමතරව පුවත්පත් සඟරා ආදියටත් සිය ගණනක් ලිපි ලියලා ඇති.

2005න් පස්සේ මම සමකාලීන සිද්ධි දෙස ඓතිහාසික දෘෂ්ටියකින් බැලිය යුතුයි කියන අදහසට පැමිණියා, සමාජ-ආර්ථික සංස්කෘතික ආදි සෑම දෙයක් පිළිබඳවම. මොකද මට අවශ්‍ය වුණා හෑම දෙයකම තියෙන ඓතිහාසික පදනම මතුකිරීමට. ඒක අපි නිතරම කරන්න අවශ්‍යයයි. උදාහරණයක් ගත්තොත් ජනවාර්ගික ගැටළුව කියන එක. සමහරු මේක දුට්ඨගාමිණි යුගයට ගෙනයන්න උත්සහ කළා. ඒ කාලේ ගැටළු ඇති වුණා තමයි. නමුත් අපි එකම ජාතියක් විදිහට ආවා. මගේ තර්කය වුණේ යටත්

 

prof-ven-haguranketha-dheerananda

මහාචාර්ය පූජ්‍ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

 

විජිතවාදයත් සමඟ ඇතිවන බෙදාවෙන්කර පාලනය කිරීමේ පාලන න්‍යාය තමා මේකට හේතුවුණේ කියලා. මේ රටේ ජනයා ජාති, පළාත්, කුල හැටියට බෙදා පාලනය කිරීමේ ඵලය හැටියට තමා මේ ප‍්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. දැන් බලන්න, මේකට හොඳම උදාහරණය තමා පොළොන්නරුව. බෞද්ධ නටඹුන් සමඟ විශ්ණු දේවාලත් එකම භූමියක පිහිටුවන්න තරම් මේ රටේ මිනිස්සු ත්‍යාගශීලි වුණා නේද? මේක සමාජ-කථිකාවක් ලෙස මට ගොඩනගන්න අවශ්‍ය වුණා. ඒ නිසා මම ලංකාවේ හැම තැනම දේශන කළා. ලංකාවේ පෞඪත්වය අපි අධ්‍යයනය කරනවා නම් ඒ අධ්‍යයනයේ මූල සාධකය වන්නේ මිනිසුන් එක්වෙලා වැඩ කිරීමේ ඵලයයි.

කාලීන වශයෙන් ගොඩනැගෙන සෑම දේකටම ඓතිහාසික මූලයක් පවතිනවා. මේ ඓතිහාසික මුලයෙන් තොරව අපිට යමක් දෙස විනිවිද බැලිය නොහැකිය, කියන ස්ථාවරයේ මම දැඩිව ඉන්නවා.

පර්යේෂණ සම්බන්ධයෙන් කථාකරද්දි මම හිතනවා පර්යේෂණ තුළින් ලබාගත් දේ සමාජගත කිරීම කරන්න  ඕන. විද්වතුන් විසින් කරන්න  ඕන අන්න ඒකයි. ඇත්තටම අද වෙන්නේ නැත්තෙත් ඒ දෙයමයි. විශ්වවිද්‍යාලය කියන ක්ෂේත‍්‍රයට කොටුවෙලා එයින් ඔබ්බට යන්නැතිව මේ ඇතුළේ කරන මේ කිසිම පර්යේෂණයක් මම දකින් නෑ ඵලදායි කියන තැනට එනවා කියලා.

ප‍්‍රශ්නය : අපි ලංකාවේදි විජයාගමනයෙන් හැඩගැසුණු ඉතිහාසයක් පිළිබඳවයි කතාකරන්නේ. නවතම පර්යේෂණ අනුව අද මෙම කතාවෙන් ඔබ්බට ගමන් කිරීමේ හැකියාවක් අපට තියෙනවා නේද හාමුදුරුවනේ.

පිළිතුර : ඉතිහාස කියන එකට අප සීමාවක් දාල තියෙන්නේ මහාවංශය පදනම්කරගෙන. ඇත්තටම 1936 වන තාක් ඒ මතය තිබුණා. ලංකාවේ රචනා වුණු ග‍්‍රන්ථ ගණනාවක ලංකාවේ දේශපාලන නායකත්වය විජය කියන කථාව තියෙනවා. නමුත් 1936 දී

 

prof_senerath_paranavitana

මහචාර්ය සෙනරත් පරණවිතාන

 

මහාචාර්ය පරණවිතාන ඉදිරිපත්කරණ එක මතයක් මේ අදහස වෙනස් කරනවා. ලංකාවේ රජුන් භාවිත කළ විරුද්ධ දෙකක් (Two Royal Title fo Sinhalese Kings) කියන ලිපිය තමා අපට පුරාවිද්‍යාව තුළින් දේශපාලන නායකත්වය දෙස බැලීමට කවුළුවක් විවර කරන්නේ. මේ ගැන 1948 දී සි. ඩබ්ලිව්. නිකුලස්, ලක්ෂ්මන් එස්. පෙරේරා, නැවත පරණවිතාන ගමණිවරු පිළිබඳව කරන අධ්‍යයනය 1970 දශකයේ තිලක් හෙට්ටිආරචිචි, 1981 දී මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, 1989 දී මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්න, 2000 දශකයේ මම ආදීන් විජයගෙන් ඔබ්බට එන්න උත්සාහ කරනවා.

මේ වනවිට පුරාවිද්‍යාඥයන් මානව ක‍්‍රියාකාරිත්වය වසර 125,000 දක්වා ඈතට ගෙනයන්න තරම් සාධක සොයාගෙන තියෙනවා. පුරාශිලා, මධ්‍යම ශිලා ආදී යුග ගැන ඉතා හොද දත්ත ප‍්‍රමාණයක් අපට සපයලා තියෙනවා. ඒ නිසා අපට මහාවංශයෙන් ඔබ්බට මානවයාගේ ක‍්‍රමික පරිණාමීය ස්වරූපයක් හඳුනා ගැනීමට හැකි වෙනවා. මහාවංශය කථාකරන්නේ යම් ස්ථාවරභාවයකට පත්වූ සමාජයක් පිළිබඳවයි. ෆාහියන්ගල ඉදලා එන ගමනේ ඉතාම ලස්සණට පරිණාමීය ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ මිනිසුන් ගේ පෙළගැස්සේ රටාවක්, තාක්ෂණික රටාවේ පෙළගැස්මක්.

ක‍්‍රිස්තු පූර්ව 3වන සියවසේ දී අපිට ශිලාලේඛන වලින් හමුවන සමාජය පරිණත සමාජයක්. අපිට කවදාවත් බැහැ මේක ඒක පාර ඇති වූ දෙයක් එහෙම නැත්නම් සමාජයක් ලෙස සලකන්න.

අපි මේක සෙල්ලිපි අරගෙන බලමු. බෝවත්තේගල ලිපියෙන් දැක්වෙන ආදිතමයා දැක්වෙන්නේ ගමිණි කියලා. ඒ ගමිණි කියන තැන ඉදලා තිශ රජු දක්වා එන විට තමයි වර්ධිත සමාජයක් තියෙන්නේ. ඔහු ඒ ලිපියෙන් දැක්වෙන පස්වෙනියා ඒ අනුව ආදීතමයා සිටින්නේ ක‍්‍රිස්තු පූර්ව 5/6 වැනි සියවස්වල. ඒ අනුව ක‍්‍රිස්තු පූර්ව 3වන සියවසට එහාට ගිය වර්ධිත සමාජ ස්වභාවයක් පෙනෙනවා. ඒ අනුව අපිට අද පෙනෙනවා වංශකතා කෙසේ කථා කළත් පුරාවිද්‍යාවත් ඉතිහාසයත් අතර ගමන් කරන සමගාමී සබඳතාව තුළින් එකග වන තොරතුරු අනුව සමාජ පරිණාමය, තාක්ෂණික, සමාජ සංවිධාන වල, සමාජ ක‍්‍රියාකාරීත්වය පරිණාමයක් ආදී වශයෙන් ක්‍‍ෂේත‍්‍ර ගණනාවක පරිණාමයක්. ඒ නිසා විජය කථාවෙන් ඔබ්බට යන්න අපට පුළුවන් වෙලා තියෙනවා.

ප‍්‍රශ්නය : ලක්දිව ඉතිහාසයට හා ඉතිහාසකරණ සම්ප‍්‍රදායට බුදුදහම සමඟ ඇති සබදතාව ඔබවහන්සේ හඳුනාගන්නේ කොහොමද?

පිළිතුර : මේක විචාරයට ලක්විය යුතු ප‍්‍රශ්නයක්. බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි සිංහල බෞද්ධ පදනම නිසා සිංහලයා අන්තගාමී වුණා කියලා.  ඇත්තටම සමාජයක් හැඩගැසිමට තමයි ආගම අවශ්‍යය. ආගම භෞතික විෂයක් නොවෙයි, ඓන්ද්‍රීය විෂයක්. ආගම තුළ හැමවිටම උත්සාහ කරන්නේ මිනිසාගේ චින්තනයට කතාකරන්න. ඇගට කතාකරන දෙයක් නෙවෙයි. සිතන දෙයටයි කතාකරන්නේ. අපි සිතන දෙය තමා නැවත අපි පාලනය කරන්නේ. මේ දෙරණ තුළ භෞතික ලෝකයේ චරණය හෙවත් හැසිරීම ගැන කථා කළොත් සත්වයා චරණය කරනවා නම් ඒ සත්වයා චරණය තුළ සංවරත්වය නැත්නම් එවිට ශිෂ්ට කියන තැනට ගන්නට, ආගම, කතාව, භාෂාව එකිනෙකා අතර පවතින ගනුදෙනුව ආදිය සියල්ල කරන්නේ ආගම. උදාහරණයක් ගත්තොත් ඔබයි මමයි කථාකරනවා, ඔබයි මමයි සමීප කළේ කුමක්ද? මම මිනිසෙක් කළේ කොතනද? භෞතික ලෝකය නෙවෙයි. මේ දෙය කරන්නේ ආගම. අපි පොඩි කාලේ අපේ අම්මාතාත්තා අපට දුන්නා චින්තාවලියක්. ඒකට තමා අපි සංස්කෘතිය කියලා කියන්නේ, වැළදගන්නේ. ඒ පදනම නිසා තමයි අද අපිට මිතුරු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් ඔබයි මමයි අද හතුරෝ.

මිනිසාට ළාමක වචන ඉගැන් වූයේ කවුද? සෞම්‍යකම මානුෂීයත්වය ඉගැන්නුවේ කවුද? හදාබෙදාගෙන මේ පරිසරයට ආදරය කරමින් ජීවත් වෙන්න ඉගැන්වූයේ කවුද? ලෞකික වස්තූන් පවතින තාක්කල් ලෝකයේ ආගම කියන එකින් මිනිසාට ලබාදුන් ශික්ෂණය මේකයි.

රාජ්‍ය කියන එක අර්ථගන්වනුයේ මිනිසා රැකීම හා මිනිසාගේ මූලික ඓතිවාසිකම් ආරක්ෂා කිරීමයි. රජු බලාපොරොත්තුවන්නේ කුමක්ද? අප රාජ්‍ය තෝරාගත්තේ කුමන පදනමකින්ද? අපගේ පොදු අරමුණු සඳහාය. මෙම පොදු අරමුණු ඉතාම හරවත් ලෙස  ඉටුකරගැනීම යන කාරණයේ දී  තමයි ආගම කියන එක රාජ්‍ය සමඟ සම්බන්ධ වෙන්නේ. මේක පළමු කාරණය. ඒවා මානුෂීය ආකාරයෙන් කරන්නේ කොහොමද කියන එක දෙක. රජු බුද්ධිමතෙක් කරන එක. අනිත් අතින් ඔහු මානුෂීයත්වයෙන් පිරුණු අයෙක් කරන්න  ඕනේ. නැත්නම් ඔහුගේ ප‍්‍රතිදානය හොද වන්නේ නැහැ.  ඔහු අධාර්මික නම් රාජ්‍යයත්, ජනතාවත් ආරක්ෂා කරන දෙය කවදාවත් ඉටුවන්නේ නැහැ.

ඒ අනුව ආගම මඟින් මිනිසුන්ව යහපත් කරන අතර පාලනය මෙහෙය වෙන්නේ එම හර පද්ධතියට සම්බන්ධ කිරීමෙනුයි. පාලකයා හා පාලිතයා කියන දෙන්නම අරමුණු අතින් සමවනවිට අභිප‍්‍රාය යහපත් වෙනවා. මෙතන ඉදලා තමයි අපිට රාජ්‍ය හා ආගම කියන දෙක දිහා බලන්නට  ඕනේ. මෙම න්‍යායාත්මක පදනමේ ඉදලා තමයි අද ලංකාවේ දේශපාලන ගමන්මඟ දෙස බැලිය යුත්තේ.

ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ලංකාව විශාල පරිවර්තනයක් කරා යනවා. දැන් බලන්න මෙම ආගමික සහනශීලිත්වය නිසා තමයි අපි හැමෝටම තමන්ගේ අනන්‍යතාව පවත්වාගෙන ඉන්න පුඵවන් උනේ. එලාර කියන සතුරට පවා සොහොනක් හදල ගෞරව කරපු රටක් මේක. ඒ තරමටම සහනශීලිත්වය හා මිතුරුකම එළි දක්වන්න පුළුවන් වුණු රටක් මේක. ඒ තැනට මේ රටේ මින්ස්සු ගෙනාවා. ඒක කළේ බෞද්ධාගමෙන් ඇතිකළ බලවේගය, භික්ෂුව ජනිත කරපු වේගය.

දූපතක් විදිහට ලංකාවේ ගමන්මඟ පිළිබඳව සලකද්දී  මානුෂීයත්වයෙන් පිරුණු මිනිසත්කම ගොඩනගාගත් පදනම ලබාදුන්නේ ආගමයි. අපේ රටේ ජාතියත්, ආගමත් ගහට පොත්ත වගේ. මොනම ආකාරයකටවත් වෙන් කරන්න බැහැ. මිනිහෙකුගේ උපතේ සිට මරණය දක්වා සියලුම කාර්යන්ට ආගම මුල් වෙනවා.

ප‍්‍රශ්නය : ලංකාවේ ඉතිහාසකරණය මහාචාර්ය පරණවිතානගේ අභාවයත් පසු අඩපණ වූ බව සමහර විද්වතුන්ගේ අදහසයි. මේ පිළිබදව ඔබවහන්සේ දරන ස්ථාවරය කුමක්ද?

 

 

prof-ven-haguranketha-dheerananda

මහාචාර්ය පූජ්‍ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

 

පිළිතුර : මේ කථාව කිසිසේත්ම පිළිගන්න බැහැ. කරුණු කීපයක් තියෙනවා.  මහාචාර්ය පරණවිතාන ඇත්ත වශයෙන්ම ඉතිහාසඥයෙක් නොවෙයි. ඔහු හොද පුරාවිද්‍යාඥයෙක්. ඉතිහාසයට අවශ්‍යකරන අමුද්‍රව්‍ය ඔහු සපයලා දුන්නා. ඒ අමුද්‍රව්‍ය පදනම්කරගෙන යටගියාව ලියන්න උත්සාහ දරපු කෙනෙක්. ඔහු ලබාදුන් ඒ පියවර, ක‍්‍රමවේදය 2010 වන විට විශාල පරාසයකට ගිහින් තියෙනවා ඉතිහාසඥයන් ගණනාවක් අද බිහිවෙලා තියෙනවා. ඉතිහාසඥයන්ගේ දැක්ම ඉතා පුඵල් අවකාශයකට ගිහින් තියෙනවා. අපට පෙනෙන දේ තමයි ඉතිහාසඥයා සාහිත්‍ය මූලාශ‍්‍රවලට කොටුවන්නේ නැතිව පුරාවිද්‍යාඥයාත් එක්කරගෙන ජාත්‍යන්තරය ගැන දැක්මක් එක්කොටගෙන අද ඔහු හොඳ ගමනකට අවතීර්ණ වෙලා තියෙනවා. ඉතිහාසකරණයේ ක‍්‍රමවේදය ආදිය මූලික අවධියක පැවති කාලයක සිටි සෙනරත් පරණවිතාන ලබාදුන් දැනුමට අපි ගරු කරනවා. ඔහු ලබාදුන් පූර්වාදර්ශය ඉතිහාසඥයන්ට හොඳ ගමන් මඟක් වුණා. ඒ නිසා අද කිසිසේත්ම ඉතිහාසකරණය අඩාලවෙලා කියන්න බැහැ. ඒක ඉතා දියුණු තත්ත්වයකට ඇවිත් තියෙනවා.

ප‍්‍රශ්නය : ඉතිහාසකරණයේ මූලාශ‍්‍ර භාවිතයේදී ඉතිහාස විෂය අනුගමනය කරන ක‍්‍රමවේදය කුමක්ද?

 

පිළිතුර : යොදාගන්නා කාලයට හා අවකාශයට සාපේක්ෂ විදිහට මානව හැසිරීම් රටාව අතීතය ප‍්‍රතිනිර්මාණය කිරීමයි ඉතිහාසඥයා කරන්නේ. එනම් ඔහු යොදාගත් කාලයත් අවකාශයත් කියන එකේ පැවති මානව ගුණාංග ඉස්මතු කිරීමයි. මෙම ගුණාංග හඳුනාගැනීමට තමයි ඔහුට මූලාශ‍්‍ර අව්‍යශ වන්නේ මිනිසා විසින් නිර්මිත, ගැටුණු, ස්පර්ශය ලැබූ කියන මේ සියල්ල ආශ‍්‍රයෙන් තමා ඔහු ඒ මිනිස් ගති නිර්මාණය කරන්නේ. ඔහුට තියෙන්නේ මෙවලම් දෙකයි. එකක් පොතපතක සටහන් වෙච්ච පසුකාලීන තොරතුරක්. ඒ වගේම සමකාලිනත්වයක් දරන පුරාවස්තුවක් තමා ඔහු නිතරම භාවිතා කරන්නේ. ඒ නිසා අද සමකාලීනත්වය හා පසුකාලීනත්වය කියන තොරතුරු පිළිබඳ සංසන්දනාත්මක විනිශ්චය ඉතා වැදගත්වෙලා තියෙනවා. මේකට අවශ්‍ය දත්ත සමුදාය තමයි ඔහු එක්කර ගන්නේ. එම දත්ත සියුම් විදිහට විග‍්‍රහකරනවා, විශ්ලේෂණය කරනවා. එම විශ්ලේෂණාත්මක දැනුම එක්කරලා තමයි මානව හැසිරීම ප‍්‍රතිනිර්මාණය කරන්නේ. ඔහු විෂයන් ලෙස මෙය බෙදාගන්නවා. විෂය හා එළැඹෙන තීන්දුතීරණ පාඨකයාට ගෙන ඒම සඳහා එළිදැක්වීමට. එමෙන්ම නිරවද්‍යතාව පිළිබඳ ඉතිහාසඥයා වඩාත් උත්සුක වෙනවා. අතීත කථනය නිරවද්‍ය විය යුතුයි කියන අදහසේ ඔහු ඉන්නවා. ඒ සඳහා පරිශීලනය කරන මූලාශ‍්‍රවල පවත්නා විශ්වසනීය බව වැදගත්.

විශ්වාසනීය මූලාශ‍්‍ර භාවිතය හා පරිහරණය ඒවා විශ්ලේෂණය හා එම දත්ත එකරැස්කර ප‍්‍රතිනිර්මාණය යන කාර්යන් සමඟ තමා ඉතිහාස දැනුම බිහිවන්නේ. ඔහුට අවශ්‍ය දැනුම හා න්‍යායන් ඉතිහාස දර්ශනය හරහා ලබාගන්නවා.

එහිදී ප‍්‍රාථමික මූලාශ‍්‍ර වලට ලබාදෙන තත්ත්වය හා විශ්ලේෂණය තමා ඉතිහාසඥයාගේ ක‍්‍රියාකාරීවය රදාපවතින හා ඔහුගේ නිර්මාණයකරන නිර්වද්‍යතාවෙන් ගත් ඉතිහාසයක් වෙත ප‍්‍රාප්ත වීමට හැකියාව ලබාදෙන්නේ.

ප‍්‍රශ්නය : ඉතිහාස විෂය යටතේ පුරාවිද්‍යා මූලාශ‍්‍ර භාවිත කරන්නේ කොහොමද කියල අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?

පිළිතුර : ඉතිහාසඥයාට මූලාශ‍්‍ර ඝණ දෙකක් තියෙනවා. සාහිත්‍ය හා පුරාවිද්‍යාව කියලා. මෙහිදී පළමු දෙය තමයි කාලය. පුරාවිද්‍යාඥයා විධිමත් ක‍්‍රමවේදයක් ඔස්සේ පුරාවස්තුවට දෙන කාලනීර්ණය. මේක ඉතිහාසඥයාට ඉතාම වැදගත්. එමෙන්ම පුරාවිද්‍යඥයා ලබාදෙන පුරාවස්තුව, එහි ගතිකත්වය කාලනීර්ණය මේ සාදක ඉතාම වැදගත් වෙනවා.

සාහිත්‍ය මූලාශ‍්‍රයට ඇතැම් විට කාල රාමුවක් නැහැ. එහි වෙනස හඳනාගැනීමට හැකියාවක් නැහැ. දැන් රජ කියන එක ගත්තොත් හැමදාම, අද දක්වාම රජ කියලා යොදනවා. එහි පරිණාමීය වෙනස හඳුනා ගැනීමට ඇති අවකාශය අඩුයි. නමුත්

 

prof-ven-haguranketha-dheerananda

මහාචාර්ය පූජ්‍ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

 

පුරාවිද්‍යාඥයාට එහෙම නොවෙයි. පුරාවිද්‍යඥයාට පුරාවස්තුවක් කාලනීර්ණය ඔස්සේ ක‍්‍රමාවලියක් හදන්න පුළුවන්. එහිදී කාලනීර්ණය වගේම ගතික ලක්ෂණත් වැදගත්වෙනවා. එමෙන්ම පරිණාමය වීමට බලපාන සාධක මොනවාද යන්නත් හොයලා දෙනවා  පුරාවිද්‍යාඥයා. ඒ වගේම තැම්පත් වූ කලාපය පිළිබඳව ඇති විශ්ලේෂණය. මේක ඉතිහාසඥයාට ඉතා වැදගත් වෙනවා. ජනාවාස පිළිබඳ පුරාවිද්‍යඥයා ලබාදුන් දැනුම ඒ පිළිබඳව ඉතිහාසඥයාට පුළුල් ආකාරයට බලන්න අනිවාර්ය සාධකයක් ලෙසට පත්වෙලා තියෙනවා. සාහිත්‍ය මූලාශ‍්‍රයන් ජනාවාස දෙක තුනක් ගැන තමා දන්නේ. ශිලාලිපි කියවීමත් සමඟ මේ රටේ ජනව්‍යාප්තිය පෙළ ගැසුනේ කොහොමද කියන එක පේනවා. සාහිත්‍ය මූලාශ‍්‍රවල තියෙන්නෙ රජරට කේන්ද්‍රකරගත් ඉතිහාසයක්.

ඒ අනුව ඉතිහාසඥයාට සහිත්‍ය මුලාශ‍්‍රවල ඇති  දත්තයන් නිරවද්‍ය කොට තේරුම්ගැනීමට හා එහි ව්‍යාප්තිය තේරුම්ගැනීමට හැකියාව ලැබෙනවා. අද ඉතිහාසය කියන විෂය පුරාවිද්‍යාවෙන් තොරව කථාකරන්න බැහැ.

ප‍්‍රශ්නය : ලංකාවේ ඉතිහාස හා පුරාවිද්‍යා පර්යේෂණ මඟින් අනාවරණය කරන අලුත්ම දත්ත හා තොරතුරු පාසල් හා සරසවි අධ්‍යාපන විෂයමාලාවලට ඇතුළත් වීමේ අඩුවක් පවතිනවා. ඒ කුමණ හේතුවන් නිසා කියලද ඔබවහන්සේ හිතන්නේ. එය අප විසදාගන්නේ කොහොමද?

පිළිතුර : මේ ගැන අපි පසුගිය වසර ගණනාවකම කතා කළා. මේකට ප‍්‍රධාන හේතුව වුනේ ඉතිහාසය කියන විෂය පාසල් විෂය පද්ධතියෙන් ඉවත් කිරීම. ඒ නිසාම සමාජ කථිකාව තුළ මෙම විෂයට තැනක් ලැබෙන්නේ නැහැ. ඉතිහාසයට තැනැක් ලැබෙන් නෑ කියන්නේ පුරාවිද්‍යාවට තැනක් ලැබෙන්නෙම නෑ. පුරාවිද්‍යාව කියන විෂය ඉතිහාසය කියන විෂයෙන් ව්‍යුක්තව කතාකරන්න බෑනේ. මේ දෙක නිවුන් සොහොයුරෝ වගේනේ. සමාජ කථිකාවේ වඩාම ඉදිරියට එන්නේ ජාතියේ ඉතිහාසය. ජාතියේ ඉතිහාසය හැඩගන්වන්නේ, අලංකාරවත්, කරන්නේ, වර්ණවත් කරන්නේ, ඔපවත් කරන්නේ, හැඩගන්වන්නේ පුරාවිද්‍යාවෙන්. අපි ක්ෂේත‍්‍රයකට ගියහම තමයි අපිට අතීතය පිළිබඳ හැගීම එන්නේ, ඒක මේ ලේඛනයකට අකුරකට විතරක් ගොනු කරන්න බැහැ. න්‍යායාත්මකව තිබෙන දෙය පුරාවිද්‍යාව හරහා විශාල ප‍්‍රවේෂයක් ලබාගන්නවා. පසුගිය කාලයේ අපි දුටුව දේ මොකක්ද? මේවා මේ නටඹුන් කියන තැනට විතරයි ආවේ. මේවා මේ ජාතික උරුමය කියන තැන නෙවෙයි අපි හිටියේ. අතීත මිනිසුන්ගේ නටඹුන් විතරයි. හරියට සොහොන් කොත් වගේ. ඒ වගේ තත්වයකට මේ සමාජය පටු වුණා. උරුමය කියන එකත් නටඹුන් කියන එකත් අතර විශාල පරාසයක් තියෙනවනේ.

උරුමය ගැන හැගීමක් තියෙන කෙනෙක් අනුරාධපුරය වගේ තැනකට ගිහින් ගඩොළු කැටයක්වත් පාගන්න කැමති නැහැ. ඒක නටඹුමක් එහෙමනැත්නම් සොහොනක්සුසානයක් විතරක් වුණානම් මොකද වෙන්නේ. ඒ තැනට අපේ රට ගිහින් තිබුණා. ඒ නිසා කන්නේත් ඒ ගඩොළු කැටය උඩ ඉදගෙන, කොළේ පිහින්නෙත් ඒ උඩ ඉදගෙන, අඩුම තරමේ මූත‍්‍රා කරන්නේත් ඒ උඩ ඉදගෙන. අපේ කියන හැඟීම නෑ.  අපේ උරුමය කියන එක නෙවෙයි එතනදි කල්පනා කරන්නේ. පසුගිය දවසක සීගීරියේ ගියාට පස්සේ මට හරි වේදනාවක් ඇති වුණා. අකුරුවලට කරල තියෙන දේ බලන්න. අකුරු කපල, ඒවා විනාශ කරල. ඇයි ඒ. ඒවා අතීත මිනිසුන්ගේ නටඹුන් විතරක් හැටියට බලපු ඒකේ විපාකය. මේ නිසා මොකද වෙන්නේ. දුරස්ත භාවය ඇති වෙන්නට පටන් ගන්නවා.

මෑතක සිට ගොඩනැගෙන ප‍්‍රවනතාව හොදයි. ඉතිහාසය අද පාසල් විෂය මාලාවට බද්ධ වෙලා තියෙනවා. අද සමාජ කථිකාව තුළ ඉතිහාසයට තියෙන තැන ඉහළට ඇවිත් තියෙනවා. අද විද්වතුනගේ කාර්යය වන්නේ මෙම ප‍්‍රවනතාව ශක්තිමත් කරන එකයි. ඔබල මේ කරන කාර්යයෙන් වෙන්නෙත් ඒ දෙය.

ප‍්‍රශ්නය : විශ්වවිද්‍යාල උගතුන් ප‍්‍රමුඛ විද්වතුන්ගෙන් රටට වැඩදායි මෙහෙයක් නොවන බවට චෝදනා ඉදිරිපත් වෙනවා. එය වලක්වා ගැනීම සඳහා ඔබවහන්සේගේ දැක්ම කුමක්ද?

 

 

prof-ven-haguranketha-dheerananda

මහාචාර්ය පූජ්‍ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

 

පිළිතුර : මේ ගැන කතාකරද්දි මුළින්ම බලන්න අවශයයි පසුගිය කාලයේ අපි වෙළිල සිටි තිස්වසරක යුද්ධය. මේ නිසා බොහෝ දෙනෙක් මානසික ඇද වැටීමකට ලක්වෙලා හිටිය. ඒ ජනයා පර්යේෂණ කියන තැනින් දුරස්ථ වෙනවා. ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාවක්නේ තිබුනේ හැමෝම තුළ. ජීවිතය හා ජීවත්වීම කියන එකෙන් දුරස්ථ වුණු අපි ඒ නිසාම පර්යේෂණ කියන එකින් දුරස්ත වෙනවා. දෙවන කාරණය තමයි විශ්වවිද්‍යාලවල පර්යේෂණ සඳහා තියෙන අවකාශය කොතරම් සීමිත වුනාද කියන එක. තුන්වන කාරණය තමයි විශ්වවිද්‍යාල ගුරුවරයා තෘප්තිමත් වූවා ද කියන එක. ඔහු විශාල කැපකිරීමක් කරල තියෙනවා තමන්ගේ අධ්‍යාපනයට. පසුගිය කාලයේ පැවැති සමාජ තත්ව ඔස්සේ විශ්වවිද්‍යාල ගුරුවරයාගේ වටිනාකම සමාජය තේරුම් ගත්තේ නැහැ. මන්ත‍්‍රිවරයෙකුට තියෙන තැනවත් විශ්වවිද්‍යාල ගුරුවරයාට තිබුණේ නැහැ. ඔහු නිශ්ක‍්‍රිය කරල තිබුනේ. ඒ නිෂ්ක‍්‍රිය පුද්ගලයාගෙන් සාර්ථක පර්යේෂණයක් බළාපොරොත්තු වන්න බැහැ. ඔහු මා නිර්මාණය කරන දේ සමාජයට කෙතරම් වැදගත් වේවිද යන්න සිතනවා. දෙවනුව ඔහුගේ යැපුම් මට්ටම පහත මට්ටමකයි තිබුනේ. යැපුම් මට්ටම පවත්වා ගැනීමට විකල්පයන් වෙත ඔහු ඇදී ගියා. ඒ නිසා ඔහුට පර්යේෂණ සඳහා කැපකරන්න කාලයක් නැහැ. දෙවනුව ඔවුන්ගේ දැක්ම.

මම කලින් කීවා වගේ පවතින මෙම දේශපාලන-සමාජ වටපිටාව තුළ ඔවුනට ඉඩක් නෑ, බුද්ධිමතාට ඉඩක් නෑ. බුද්ධියෙන් තොරව ගමන්කරන රටක් අයාලේනේ යන්නේ. වර්තමාන දැක්මකුත් නෑ, අනාගත දැක්මකුත් නෑ. අනාගත දැක්ම හදන්නනම් බුද්ධිමතෙක් අවශයයි.

ඒ නිසා විශ්වවිද්‍යාල ගුරුවරයා හා ශිෂ්‍යයා කියන අය දැන් ඉන්න තැනින් ඉදිරියට අරගෙන සමාජ කථිකාවට බද්ධ කරන්න අවශ්‍යයි. මේ වගකීම රජය හා විශ්වවිද්‍යාල ප‍්‍රජාව කියන දෙපාර්ශවයටම පැවරෙනව. විශ්වවිද්‍යාලය කියන්නේ ජාතික සම්පතක්. ඒ සම්පත රටේ අභිවෘද්ධියට භාවිත කරන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය කරන න්‍යායපත‍්‍ර සකස් කරන්නේ කොහොමද? කියල රජය හිතන්න  ඕනේ. දෙවනුව ඒ න්‍යායපත‍්‍රයට තමාගේ පූර්ණ දායකත්වය විශ්වවිද්‍යාල බුද්ධිමතුන් ලබාදිය යුතුයි. දෙපාර්ශවයම මේ වගකීම දැරුවොත් විතරයි අපි මේ කතාකරන තැනට යන්න පුළුවන් වෙන්නේ.

ප‍්‍රශ්නය : ඔබවහන්සේට, ලංකාවේ යටගියාව අධ්‍යයනය කරන්නන්ට හා ඒ පිළිබඳ රුචියක් දක්වන්නන්ට දෙන්න පණිවිඩයක් ඇති.

පිළිතුර : මම හැමවෙලාවෙම කියන දෙයක් තමයි ශ‍්‍රී ලාංකිකයන් හැටියට අපිට විශාල උරුමයක් ඒ වගේම දිගු අතීතයක් තියෙනවා. මේ අතීතය තුළ අපිට නිතරම මතුකරන දේ තමයි අපේකම හා අපි යා යුතු මඟ. මේ ඉතිහාසය අපිට හැමදාම කියල තියෙනවා. එයින් ඔබ්බට ගිය හැම වෙලාවෙම අපි වැටුණු අඝාධය හැම වෙලාවෙම අපිට මතක්කරල දීල තියෙනවා. ඒ නිසා මේ රටට ආදරය කරන හැම මනුෂ්‍යයෙක්ම පළමුවෙන් ම ඉතිහාසය ඉගෙන ගන්න  ඕනේ. මෙරට ඉතිසාහය කියල කියන්නේ අපේ මුතුන්මිත්තන්ගේ කතාව. අද මම කියන පුද්ගලයා නිර්මාණය කළේ අපේ මුතුන්මිත්තෝ. ඔවුන් ලෙයින් කඳුලින් දහඩියෙන් හැදූ අපේකම. ශ‍්‍රී ලාංකික කියන අනන්‍යතාව අපි හැමදෙනාම විනිවිද දැකිය යුතුයි. ඒ විනිවිදැකීම ඔස්සේ තමයි අපිට අනාගත ශ‍්‍රී ලංකාව බිහිකිරීමට හැකි වෙන්නේ. අනාගත ලංකාව බිහිකිරීමට සූදානම් වන හැම කෙනෙක්ම අතීත පාඩම් ඉගෙනගෙන අතීත ජයග‍්‍රහණයන් දැනගෙන ඒ මත නූතනය ගොඩනැගීමට සූදානම් විය යුතුයි. ඒ නිසා මේ රටේ හැම මනුෂ්‍යයෙක් ම මොන ක්ෂේත‍්‍රයක හිටියත් අපි සෑම ක්‍ෂේත‍්‍රයක් ම හරහාම කතා කරන්නේ නූතන ප‍්‍රජාව නම් ඒ සමඟ බද්ධ වූ අතීත නියමුවන් ගත් මඟ හෙළි කරගත යුතුයි. ඒකෙන් අදහස් වෙන්නේ අතීතයේ අපි හිටිය තැනටම යනව කියන එක නෙවෙයි. ඔවුන් වර්ධනය කොට අපිට තිළිණ කළ මේ දෙය රැකගන්න. එය වර්ධනය කරන්න. ඒ  මඟින් අනාගත ශ‍්‍රී ලංකාව ගොඩනඟන්න. එවිටයි අපි මේ කතාකරන ආධ්‍යාත්මික හා මානුෂිය සංවර්ධනය කරා අපිට යා හැකි වන්නේ.

ඔබවහන්සේ සමඟ සම්බන්ධ වන අකාරය

විද්‍යුත් තැපෑල               : deera@yahoo.com ඉතිහාස අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. සංවාද සටහන හා ඡායාරූප චන්දිම අඹන්වල, මහින්ද කරුණාරත්න 2010 අගෝස්තු-සැප්තැම්බර්

(මෙම සංවාදය හා එහි දැක්වෙන කරුණු පිළිබඳ ඔබගේ අදහස් අන් අයගේ ද අවධානය සඳහා පහත කොටුව තුළ ඔනෑම බසකින් ලියා දක්වන්න.)




සම්බන්ධිත ලිපි: